මගේ හිස මත පාදයක්,
මම ඉවසා සිටිමි..
එය මා පොළොවට තබා
නැගිටගනු නොහැකිවන සේ,
මා ඉතාමත් කුඩාවන සේ,
ඔබාසිටියි
මම ඉවසාසිටිමි...
දැරියනොහැකි පීඩනයට
බරට යටවෙමින්,
මා ඉතාමත් කුඩාවී...
එහෙත්,මම ඉවසාසිටිමි
හදිස්සියෙන්
කොහෙන්දෝ ආ සිතිවිල්ලක්
මගේ සිත තුළින්
බුද්ධියට පනී...
මේ දුහුවිලි අතර
ඉතාමත් කුඩාවී
සලකුණක්වත් නොතබා
මා වැන්නෙක් සිටිබවට
කිසිවෙක් නොදැනම
නොතකාම
කිසිදු අනන්‍යතාවයක් නොතබා
මා වාෂ්පවන්නට ප්‍රථම
එකමඑක් වරක්වත්
හිස ඔසවා බැලියයුතුයි
මට ලෝකය දකින්නට
ලෝකයට මාව දකින්නට...
මම මහත්වෑයමෙන්
අත ඔසවා හිස්මුදුනට,
එහිවූ පාදය අතගාබැලීමි
`ඔහෝ' රළු විසල්පාදය,
එහි ලිංගය මම හැඳින්නෙමි
එය පිරිමිපාදයකි....
පිරිමිපාදයට වැඩියෙන්
ගැහැනුහිස ශක්තිමත් නොවේද?
මම මහත්වෙර දරා,
අතුරුදහන්වෙන්නට ප්‍රථම,
හිස මඳක් එසවීමි...
මගේ මිටමෙළවී
දත් එකිනෙක තෙරපෙමින්
මට ධෛර්යය දෙයි
මම සතරගාතයෙන් නැගීසිටියෙමි...
එහෙත්,දෙපයින් නැගීසිටින්නට
මොහොතකට පෙර,
අකරුණාවන්ත රුදුරුපාදය,
විශාලවෙමින්,සවියෙන් කිහිපගුණවී
මා තලා පෙළා,
මහපොළොව මත වැතිරවීය....
මියැදෙන්න ප්‍රථම,
මම මහත්වෑයමෙන්,
කුඩාවූ මගේඅත් නැමති
අඞුවක් ඔසවා
පාදයේ තැනක් අතගාබැලීමි....
පාදය මගේහිස මත තබා
තෙරපාසිටින්නේ සුමුදු අත්දෙකකි....!
No comments:
Post a Comment