lankeeya sithuwili

Monday, March 14, 2011

"අප්පච්චි"



මහගෙදර ඉස්සරහ
ගෙදරටම සෙවණදෙන,
මහකොස්ගහ වගේ හිටිය අපේ අප්පච්චි...
ටයි කෝට් ඇන්දම
දොස්තර මහත්තයට වඩා පෙනුමයි
ඒත් ගස්ගෙඩි කඩනවා
අමතර ආදායම් ගන්න...
කන්තෝරුවට යන්නෙ 
හරිහමන් කෑමක් නැතිව
අපට කෑම ගෙනත් දෙන්න
පොඩිකාලෙ අප්පච්චි 
විඳපු නැති සැප දෙන්න...
මේස්දෙක හිල්වෙලා
විලුඹ එළියට ඇවිත්
ගෙවීගිය සපත්තුවෙ ඇණ වැදිල
ලේ ඇවිත්...
ඒත් රිදෙන්නෙ නෑ අප්පච්චිට
අපේ පුංචි කෙඳිරියක් තරම්වත්...
ගෙදරට එක කොටුසරමයි
දිගට හතරැසට රවුමට
අණ්ඩරටා දමා මහපු,
අලුත් සරමක් ගන්න බැරිලු
තාම අලුත් එකක් වගේලු
අපට අලුත් ඇඳුම් ගෙනත්
ගොඩගැසුවා අප්ප්ච්චි...
"අනේ මගේ හුරතල්-හිච්චි කෙල්ල
ජරාවට ඇඳලා බැඳලා ඉඳලා කොහොමද?"
ශිෂ්යත්වය සමත්වෙලා
ලොකුඉස්කෝලෙට යනකොට
අලුත් ඇඳුම් කෝටියයි....
පොත් පත්තර කෝටියයි
අද වගේම මට මතකයි
අප්පච්චිගෙ බුරුසු රැවුල
සතුට උහුලගන්න බැරිව....
හිනැහෙන කට උඩ ඉඳගෙන
එහෙට මෙහෙට නලියපු හැටි....
සරසවියට සමත්වෙලා
අපපච්චිගෙ හිච්චිකෙල්ල
මුළු ගමේම සන්තෝසෙට
ඇවිද ඇවිද කියවපු හැටි
හවස්වරුවෙ කාටත්ම හොරෙන්,
තනියම බුදු පහන ගාව
වරුවක් තොල් මතුර මතුර
වැඳගෙන සිටි අප්පච්චි...
කඳුළු ගලන ඇස් වහගෙන,
කෘෂ අත්දෙක වෙවුල වෙවුල
පඬුරක් ගැට ගැහැව්ව හැටි
දොර රෙද්දට මුවාවෙලා
හිච්චිකෙල්ල බලාගෙනයි....
"සරසවියට සමත් වුණත්,
අපට හැකිද ඕවයේ යන්න?
වියහියදම් කොච්චරක්ද?
ඊට හොඳයි රස්සාවක්
හොයාගන්නවා අප්පච්චි"
"පණ්ඩිතකම් උඹට මොටද?
උඹ පලයන් සරසවියට
මට පුළුවන් හැටියට මම
උගන්වනවා උඹට හොඳට"
"දෙන්න දෙයක් නෑ මගෙ ළඟ
එකම ධනය ඔච්චරමයි"
"හිච්චිකෙල්ලෙ තේරුණාද?"
හතරැහැට වකුටු වුණ කොන්ද
යන්තම් වගේ දිගහැරගෙන
අමාරුවෙන් පය තිය තිය
කන්තෝරුගියා අප්පච්චි...
කවුදෝ කට්ටියක් ඇවිත්
බිල්ලන් වාගේ ඇඳගෙන
මහමූසල රාත්රියක
උලලේනා හඬද්දීම
මහණ වෙන්න පෙරුම්පුරපු
පන්සලේම කාලෙගෙවපු
ලොකුඅයියව අරන්ගියා...
පැදුර දමපු ලණුඇඳ යට
මාව හැංගුවා අප්පච්චි....
"යකුනේ මගෙ කොල්ල තියලා,
මාව අරන් පලයව් තොපි"
පපුවට ගහගහ හඬමින්
ළතෝනි දුන්නා අප්පච්චි...
හිත්පිත් නැති අන්ධකාරෙ
ලොකුඅයියව ගිලගත්තා
කුප්පිලාම්පුවෙ දැල්ලත්
තහනම් වූ රාත්රියේ...
සපත්තු දෙක ගෙවිලගිහින්
ලාබ රබර්සෙරෙප්පුවට
බහින්න වෙනතුරුම
දහදිය කඳුළු බිබී...
ලොකුතැන් මන්දිර ගානේ
ගෑටුවා අපේ අප්පච්චී....
ලොකුඅයියගෙ හෙවනැල්ලක්වත්
තියේද හොයාගන්න...

 නැතිතැන,පන්සල් කෝවිල්
ලංකාසිතියමේ හොයහොය
බාරවෙවී දසදහසින්
පොල් ගැහුවා අප්පච්චී...
මහලුවගිය මළමිනියක 
රූපය ඇඳගන්න තුරුම...
උපාධියක් කර තියාන
ගෙදරට කොටුවෙච්ච කාලෙ
කන්තෝරුවෙ මහත්තයා ගාවට
මා අරන් ගියා
"පියන්ගෙ කෙල්ලට දෙනවා
ඔය පුළුවන් රස්සාවක්"
අපි දිහාවවත් නොබලා
ළඟපාතක සිටි අයෙකුට
මහත්තයා නියම කළා...
ඡන්දෙට ඉස්සර දවසක
ගුරු පත්වීමක් ආවම
අවුරුදු ගණනක් තිස්සේ
හිනා නොදුටු
අප්පච්චිගෙ මහලුමුහුණෙ,
බුරුසු රැවුල 
ආයෙම සැරයක් නැටුවා
මට අද වාගේ මතකයි...
"දීගෙක යන්නට හිච්චිට කාලෙත් හරි
නොවේද දැන්"
"යමක්කමක් තියෙන කෙනෙක් 
මලක් වගේ බලාගන්න
ගුණයහපත් වෙන්න ඕනෙ
සුරාසූදුවෙන් තොරවී.."
කපුවන් අත මුදල් තියා
පිටත්කළා අප්පච්චී...
මගුල් දවසෙ උදේවරුවෙ,
අයියා ගියදා වාගෙම
අප්පච්චිගෙ ලොකුඇස්දෙක
කඳුළින් බරවෙලා තිබුණා
 වුණාට මට මතකයි
තොළ උඩ හිඳ ඛුරුසුරැවුල
යන්තම් එහෙ මෙහේ වෙවී
සන්තෝසෙන් වගේ නැටුවා
එක දවසක් සුළිසුළඟක්
හමාගියා ගෙදර උඩින්
ගේ පුරාම අඳුරු කරන්
ලාම්පුවත් නිවී ගියා
මහකොස්ගහ කඩාවැටුණා
කිසිම සද්දයක් නැතිවම
ගමේම මිනිසුන් රැස්වී
මිදුලේ ගොප්වැල් ඇද්දා
කොස් ලීයෙන් තැනු පෙට්ටියෙ
අප්පච්චි නිදාසිටියා
යන්තම් දෙතොලේ කොනක
පුංචි හිනාවක් තිබුණා
අප්පච්චිගෙ බුරුසුරැවුල
නැටුවේ නෑ තවදුරටත්
හිච්චිගෙ ඇස්වල ඉඳලා
කඳුළු ගඟක් ගලා ගියා
මං අම්මව දැකලම නෑ
ගෙදරබුදුන් අප්පච්චී
මගෙ අම්මා-අප්පච්චී
මගේ පියා-අප්පච්චී
වෙනදා මා හඬනාවිට
ළඟට ඇදලාඅරන් සෙමින්
උකුලේ ඉන්දවා තියා
හිස අතගා ආදරයෙන්
නළල සිඹින අප්පච්චී
අද නොදුටුවා වාගෙ
එක විදිහට,ශාන්තවට
නිදාඉන්නෙ සාළය මැද
පෙට්ටියේ.............
කවදාවත් නැතිවම අද
හිච්චිත් එක්කලා ඉතින්
තරහවෙලාවත්ද කියා
කියන්නකෝ අප්පච්චී"


ඇඳවිට්ටම...........



"කිරි...කිරි...කිරි..."
ඇඳවිට්ටම කෑගසයි...

වේදනාබර හඬින්
අඳුරු තිමිර පට
එළාඇත අහස අවුරා
අඩවල්කල කවුළු තුළින්
කාලය පැනදුවන
මායාකාරී ලෝකයේ
ඈඳවිට්ටම කෑ ගසයි
හැමදාමත්........
දුක්බරව........
වොට් හතලිහේ බල්බය
එල්වාඇත අහසේ..
ඒ ලෝකයේ සඳ
නොපෙනීගොසිනි ඇතිරිල්ලක
කෙඳිරිල්ලක්වත් නැති
ගොලුවූ සඳවත පෙළමින්
මහමේරුව ගෝරනාඩුවක
බල්බයට ආදරෙන්
පළඟැටි පෙම්වතුන්
දිවිනසාගන්නා ඒ ලොවේ
හැමදාම මියෙන සඳක්
ඇත අහස යට....
ඇඳවිට්ටම බලාසිටී...
හැමදාම පැරදෙන යුද්ධයක්....
ඒ දරාගත නොහැකිතැන
කෑගසයි ඇඳවිට්ටම
දුක්බරව...වේදනාවෙන්...
"කිරි...කිරි...කිරි..."
අවසානයේ... 
සඳ මියැදෙන යුද්ධය
සිරුර තනිකොට දමා...
පැනදුවයි කූඬැල්ලෙක්
පැළඳූ නොයෙක් වෙස්මුහුණු,
කූඬැල්ලන් පමණක් ලගින
ඒ මෙට්ටයේ කෙළවර
සිටී ඇඳවිට්ටම...
සඳ හඬයි...
ඇඳවිට්ටම බදාගෙන
නටනතුරු උණුකළ කඳුළු
දවාලයි ඇඳවිට්ටම
තැඹිලිපාට සල්ලිකොළ ධජ
එල්වා ඇඳවිට්ටමේ
යුද්ධයක් අවසන්
මුරුගසන් වරුසාව...
ඇරඹේ එතැනින්
සඳයි ඇඳවිට්ටමයි
පමණක්.... 
ඉතිරිවූ ලෝකයේ....

Saturday, March 12, 2011

අපිත් දැන් දියුණු යි.....

පන්සලෙන් කෑල්ලක්,
පාසලෙන් කෑල්ලක්,
වෙල්ඉපනැලි කුඹුරු
යායවල් එකතුකර,
ගල්ලෑලි හුණුකූරු
ගල්කණු  ප්‍රතිමා 
සඳකඩපහණ උඩ
අත්තිවාරම් දමා...
නැගෙන ගඩොල් බිත්ති හා
සිමෙන්තිකණු හාද වී...
අහසෙ දුම් පටලවා
නිල්පාට වසාලා
කුරුටු ගා හිරුමඬල
අහසෙනුත් මකාලා
ඉදිවුණු අපේ ආශ්චර්යවත්
ෆැක්ටරිය....
කුඹුරුවැඩ
නවතන්න
අත්තම් ගෙත්තම්
මොටද..?
රැස්කකා පේළිබැඳ
වැඩට යමු
ෆැක්ටරියේ...
අලුත උපන් කෙල්ලන්ට
අලුත උපන් කොල්ලන්ට
ගොඩේවැඩ ඕනැනෑ
වැඩට යමු ෆැක්ටරියේ...
සුද්දන්ට මහන්නට
තොගගණන් ඇඳුම් ඇත...
අපට ඇඳුමක් නැතත්
කොයිතරම් අගනේද..?
කෙනෙක් මසතී අතක්
තව කෙනෙක් බොත්තමක්
ඇති ඉගෙනගත්තොතින්
හොඳට  ටික වුණත්
ගෙවන්නට සතුටින්
අපේ අලුත් ජීවිතේ...
නගරයේ උන් වගේ
කලිසම්  දම්වැල් ,
සෙල්ෆෝන් අතපයේ
බැඳන්යන ලණුකැරලි
කනකරේ එල්ලන
ලෝහකෑලිමලුගණන්
ගත්තොතින් යහමින්
ගෙවිය හැකි ජීවිතේ...
කරවන්ට අය නැත්නම්
මොටද මේ හැටි කුඹුරු..?
කුඹුරු ටික ගොඩකරලා
හදමු තව ෆැක්ටරි
      අන්තිමේ මුළු රටම
එකාමෙන් එකතු වී
      ෆැක්ටරියෙ වැඩට යමු
      රටේ නැත්නම් සහල්
      පිටරටින්වත් ගෙනෙමු.
      එහෙමවත් බැරි වුණොත්
      ලෝහකෑලි අරුමෝසම්
      සෙල්ෆෝන්,ලණුකැරලිවත්
  
    ඉතින් ගිලදාමු.  
                 
                                                                              රචනය:නර්මදා චතුරංගි වික්‍රමආරච්චි